නවමු පුවත්

සියපත ෆිනෑන්ස් වෙතින් සියලුම පළාත් ආවරණය කරමින් මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්

Siyapatha Finance initiates Financial Literacy programmes covering all provinces

හෘද්‍යාන්ගම මූල්‍ය සේවාවකින් සුවහසක් ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වූ 20 වසරක සියපත ෆිනෑන්ස් පීඑල්සී මූල්‍ය මෙහෙවර අභිමානයෙන් සමරමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ වැඩසටහන් මාලාවක් සාර්ථකව සංවිධානය කරන ලදී. සියපත ෆිනෑන්ස් ජේෂ්ඨ කලාප කළමනාකරුවන් හා කලාප කළමනාකරුවන්ගේ මෙහෙයවීම යටතේ දීප ව්‍යාප්ත සියපත ෆිනෑන්ස් ශාඛා ජාලයේ නිලධාරීන් සහ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් එක්ව වැඩසටහන් 13 ක් හරහා කලාපීය වශයෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන් පවත්වන ලදී.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව, මහජන ආකර්ෂණය දිනාගත් පුද්ගලයන් හා කණ්ඩායම්, සියපත ෆිනෑන්ස් වෙතින් මූල්‍ය සේවා ලබාගත් පාරිභෝගිකයන්, මූල්‍ය සේවා ලබා ගැනීමට බලාපොරොත්තුවන්නන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ඉලක්ක කරගනිමින් නිර්මාණශීලී ක්‍රමවේදයකට මෙම වැඩසටහන් සංවිධානය කරන ලදී. පැවැති සෑම වැඩසටහනකදීම ගනුදෙනුකාරභවතුන් තමාට ‌ගැලපෙන ‌සේවා නිවැරදිව ලබාගන්නා ආකාරය ඇතුළු මූල්‍ය සාක්ෂරතාවයේ මූලිකාංග, පුද්ගල මූල්‍ය කළමනාකරණය, දැනුවත්භාවය හරහා නිවැරදිම මූල්‍ය තීරණ ගැනීම මෙන්ම ලීසින්, රන් ණය, ෆැක්ටරින් සහ හරිත මූල්‍ය සේවා (green finance) වැනි මූල්‍ය සේවා වෙළෙඳ පොලේ ඇති වෙනත් ආයෝජන ක්‍රමවේද මෙන්ම ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා හා අභියෝග පිළිබඳව දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අංක 2344 දරණ ගැසට්‌ පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි අනුව කටයුතු කරමින් මූල්‍ය අන්තර්ගතභාවය, කාන්තාවන් සවිබලගැන්වීම, දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් ක‍්‍රියාකාරී වීම හා විධිමත් මූල්‍ය ක්‍රමවේදයට අනුගතවීමේ වැදගත්කම පහදා දීම යන මාර්ගෝපදේශ අනුව සියපත ෆිනෑන්ස් පීඑල්සී කටයුතු මෙහෙයවනු ලබයි.

බෞද්ධ දර්ශනය තුළ පෙන්වාදෙන සමජීවීකතා සංකල්පය හෙවත් ආදායමට සරිලන සේ වියදම් කිරීම හා අර්ථවත් දෙයට වියදම් කිරීම මුල් කරගත් මූල්‍ය විනයවත් භාවය ඇති කර ගැනීමේ සාමාජීය වටිනාකම මෙම වැඩසටහන්වලදී අවධාරණය කෙරිණ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම (anti-money laundering) හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම (countering the financing of terrorism) සඳහා මූල්‍යමය වශයෙන් දැනුවත් කිරීමත්, සැමවිටම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ බලපත්‍ර ලාභී කීර්තිමත් හා ශක්තිමත් මූල්‍ය ආයතනම පමණක් තෝරා ගැනීම හරහා ආරක්ෂා වීම පිළිබඳ අවධාරණය කිරීමත් එම වැඩසටහන්වලදී සිදුකෙරිණ.

අති සාර්ථක සම්මන්ත්‍රණයන්ගෙන් අනතුරුව සහභාගීවූවන්ට තම ගැටළු යොමු කොට පිළිතුරු ලබාගැනීමේ අවස්ථාව හිමි වූ අතර පැමිණි සියල්ලන්ට එකිනෙකාගේ අත්දැකීම් හුවමාරුකරගැනීම හරහා නව වෘත්තීමය සබඳතා ගොඩනගා ගැනීමටද හැකිවිය.

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත.

..

.